Friday, October 26, 2018

අනුරාධපුරේ ස්වේච්ඡ සේවය , පුරාවිද්‍යා මහත්තයා , අභයගිරිපුරාවිද්‍යා කැණීම්, බසවක්කුලම වැව අසල ඉංග්‍රීසි පන්ති සමග ආයෙමත් තාත්තා



ටික කාලයක් නොලියා සිට නැවත ලියන්නට යාම මහත් අපහසු කර්ර්යයකි . ඒ කොහොම වෙතත් ලියන්නට කියා කිහිපවරක් පණිවුඩ එවූ සොඳුරු සඳවතීට වුනු පොරොන්දුව නිසා පොස්ටුව මෙතනින් පටන්ගන්නට ආටියා සූදානම් වෙනවා ය . මේ කථාව කාලයක් තිස්සේ ලියන්නට හිතන් හිටි ඒත් ලියන්නට නොහැකිවුනු තාත්තා ත් මගේත් රසකතා වලින් තවත් එකක් ය . ඔහේලාට තාත්තා ගැන මෙතන අමුතුවෙන් විස්තර කරන්නට දෙයක් නැති බව මෙහි එන යන කොමෙන්ට් කරන අය දෙස බලද්දී කියන්නට පුළුවන් ය. ඔය අතර මෙහි අලුතෙන් පැමිණි අයෙක් මේ යකා කියන්නේ මොන දෙමළයක් ද කියා නොදන්නා නිසා පරණ තාත්තා පොස්ට් ටිකක් මෙතන සටහන් කරනවා ය .

මගේ තාත්තා සහ රැකියාව
බාස්කට් බෝල්,පොලිස් හෙල්ප් සහ තාත්තා
රශ්මි සමග ආටියා ගේ බ්‍රිස්ටිෂ් කවුන්සිල ගමන සහ තාත්තා ගේ හැබෑ චිත්‍රපටි ජවනිකා.

තාත්තා උසස් පෙළ ඉවර උනදවසේ හවස විස්තර කතා කරමින් සිටි මොහොතේ මගෙන් විමසුවේ ,  මොනවා කරන්නත් ට්‍රිප් යන්නත් කලින් පුතා සමාජ සේවා කටයුතු වලට මම සහභාගී විය යුතු බවය .මගෙන්  විමසුවේ කරන්නට කැමති මොනවද කියා ය . මම ගත් කටටම කීවේ එහෙම කරන්නට මට බෑ කියා ය .

ඒ දෙබස මෙසේ ය ,

තාත්තා :- පුතා මිනිස්සුන් ට උදව් කරන්න ඕනේ . ඒක අනිවාර්යයයි !

මම :- මම මොනවා කරන්නද තාත්තා

තාත්තා :- ඔයා කැමති මොනවගේ දෙයක් කරන්නද ?

මම :- මොකක් හරි ස්වේච්ඡ සේවයක් , රතුකුරුසේ වගේ ? නැත්තම් පුරාවිද්‍යා වැඩ වලටත් මම ආසයි .

තාත්තා :- මම දන්නා පුරාවිද්‍යා මහත්තයෙක් ඉන්නවා අනුරාධපුරේ , මම අහල බලන්නම් .

පසු දවසේ උදේ තාත්තා මට පැවසුවේ අනුරාධපුරේ යන්න සූදානම් වෙන්න කියා ය .

මම :- මොකක්ද කරන්න තියෙන්නේ ගිහිල්ලා තාත්තා ?

තාත්තා :- ජේතවනාරාමයේ , අභයගිරියේ වැඩ වලට මිනිස්සු නැහැල්ලූ , ඔයා ගිහිල්ලා උදව් වෙන්න . මම වියදමට සල්ලි ටිකක් දෙන්නම් . එහෙ ගිහිල්ලත් මෙහෙ වගේ නටන්නේ නැතුව කරන දේ  කරන්න . තේරුනාද ?

කොහොම කොහොමාරි ආටියා අනුරාධපුරේ යන්න කොටුවට එනවා . යන්නේ කෝච්චියේ . යන්න එන්න කියල තිබ්බේ තාත්තා දුන්න රුපියල්දෙදාහ විතරයි . ඒ මදිවට මගින් මගටම කිව්වා ස්වේච්ඡ සේවකයන්නට දෙන දීමනාව ගන්න එපා කියල . කෝච්චියේ ඉදගන්න හම්බුන නිසා කරදරයක් නැතුව අනුරාධපුරේට එන්න ලැබුනා . ඔය අතර මම ඉදගත්ත තුන්වෙනි පන්තියේ ආසනයේ (මුහුණට මුහුණ තිබෙන) ඉදිරිපස මැදිවියේ යුවලක් සහ මගේ වයසට සමාන ගැහැණුළමයෙක් ද හිටියා . ඒ තාත්තා සහ අම්මා ඒගොල්ලන්ට කන්න ගෙනාපු සීනිසම්බල් පාන් මටත් කන්න කියා දුන්නා . ඔය අතර ඒ තාත්තා විමසුවේ,  පුතා මේ කොහෙද යන්නේ කියා. මම සම්පුර්ණ විස්තරය කියූ විට ඔවුන් තිදෙනා ම පුදුමයෙන් පුදුමයට පත් වූනෝය . "මෙහෙම තත්තාලා තවමත් ඉන්නවා නේද එහෙනම් , හාමිනේ? " ඔහුට කියවිණි .

පුතා මමත් අනුරාධපුරේ . අපිත් ගුරුවරු . මම ප්‍රින්සිපල් කෙනෙක් . අපේ දුව මේ . එයා මේ අවුරුද්දේ උසස් පෙළ ලිව්වේ . ඔය ආදී වශයෙන් විස්තර කියන්නට විය .

පුතා කොහෙද නවතින්නේ ? තවම තැනක් නෑ සර් . පුරාවිද්‍යා මහත්තයා ගෙන් අහන්න ඕනේ .

තැනක් නැත්තම් අපේ ගෙදර උනත් නවතින්න පුළුවන් . ඉන්න මම ඇඩ්රස් එක ලියලදෙන්නම් .

ඔවුන් සියලු දෙනා මට ඉතා හිතවත් උනේ මටවත් හිතන්න බැරි විදියට ය . ඔවුන් වචනයේ පරිසමාර්ත අර්ථයෙන් ම අව්යාජ මිනිසුන් වූ හ.

දුම්රිය අනුරාධපුරේ ට ලගා වන විටම යකඩ කටින් මෙලෙස දැනුම් දුනි .

"මෙම දුම්රියෙන් පැමිණි මගීන් වෙත කෙරෙන දැනුම් දීමයි . කලන ආටිගල යන අය කරුණාකර දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් කාර්යාලයට පැමින්නෙන්න "

ඉපදිච්ච දවසේ ඉදං කෝචි වල ගිහිල්ලා තියෙන මට මෙහෙම නිවේදනයක් ඇහුනේ පළවෙනි වතාවට . අනික කියන්නේ මගේ නම .  ඒ දවස් වල යුද්දේ තිබ්බ නිසා හමුදාව පොලීසිය දුම්රිය ස්ථානය පුරා ඉන්නවා . හැමෝගෙම බෑග් චක් කරනව . කෝච්චිය අනුරාධපුරේ නවත්වලා වව්නියා යන්න පෙට්ටි තුනක්ද කොහෙද කෝච්චියක් තියෙනවා . හැමෝම ඒකට මාරුවෙන්න ඕනේ . දුම්රිය ස්ථානය හරිම කාර්ය බහුලයි . ඔය අතරම මම ම්රිය ස්ථානාධිපති මෙහෙයුම් සොයාගෙන යද්දී , අර ගුරු දෙපොළ මගේන් විමසුවේ , පුතා මොකක් හරි ප්‍රශ්නයක් ද ? ඉන්න මමත් එන්නම් .

අපි දුම්රිය ස්ථානාධිපති මෙහෙයුම් මුණගැහෙද්දී , ආ ... මේ ආටිගල මහත්තයා ගේ පුතා වෙන්න ඕනේ ?

මම :- ඔව්  මම තමයි .
දුම්රිය ස්ථානාධිපති:- තාත්තා මට විස්තරේ කිව්වා . පුරාවිද්‍යා මහත්තයා හදිස්සි වැඩ වගයක කිව්වා . එකයි එන්න බැරි උනේ . පුතා දැන් කෙලින්ම යන්න අභයගිරියට . ඒ මහත්තයා එතන ඉන්නවා .මොනවා හරි උදව්ව්වක් ඕනේ නම් මට කියන්න හරි ද . ආ යන්න විදියක් , ඔහොම ඉන්නකෝ කියා රාජකාරි මාරුවන පොලිස් රථයට විස්තරය කියා මට එයට ගොඩ වෙන්න ට කියා දැනුම් දුන්නා ය . එතුමා ට ස්තුතී කර මම දුම්රියේ දී මුණගැසුන මගේ හිතවත් ගුරු දෙපොලටත් සමු දුන්නේ නැවත ඔවුන් හම්බවෙන්නට එනවා කියා පොරොන්දු වූ පසුව ය .

මම අභයගිරියට ගිය පසුව පුරාවිද්‍යා මහත්තයා හොයා ගන්නට පොලිස් නිලදාරීන් දේපොළ මට උදව් කළෝය. අවසානයේ ඔවුන්ට ද ස්තුති කොට සමු දුන් මට ඔවුන් කීවේ මොනවහරි දෙයක් වෙන්න ඕනේ නම් කියන්න කියා ය . පසුව පැමිණි  පුරාවිද්‍යා මහත්තයා  මා පිළිගත් අතර ඔහු නැවතී සිටින බසවක්කුලම වැව අසල ඇති පන්සලේ මටද නවතින්නට පුළුවන් කියා පැවසුවේ ය . ඒ අනුව ඔහුගේ රැලේ බයිසිකලයෙන් අප දෙදෙනා ම නවාතැනට යන්නට පිටත් විය . ප්‍රමානයෙන් කුඩා සිරුරක් ඇති පුරාවිද්‍යා මහත්තයා ට බයිසිකල් පොල්ලේ ඉදගන්න කියා මම පාගන්නට පටන්ගතිමි .  පසුව පන්සලට පැමිණිමා නායක හාමුදුරුවන් ට හදුන්වා දෙන්නටද  පුරාවිද්‍යා මහත්තයා අමතක කරේ නැත .

නායක හාමුදුරුවන් :- මේ පුංචි මහත්තයා ඇවිල්ලා තියෙන්නේ ලොකු පිංකමකට නේද . එහෙනම් නාකියා ගෙන එහෙම එන්නකෝ පිරිත් නුලක් බදින්න .
මම :- හොදමයි අපේ හාමුදුරුවනේ .

පසුව අසල තියෙන වැවට ගොස් හොද හැටි නාගත් මමත් පුරාවිද්‍යා මහත්තයත් රෑ ට කන්නට පාන් ද අරගෙන පන්සලට ගියේමු .  පසුව මම නායක හාමුදුරුවන් හමුවී  පිරිත් නුලක් බැදගෙන නැවත පන්සලේ නැවතී සිටින කුටියට ගියේමි . ඒ යද්දී පුරාවිද්‍යා මහත්තයා කන්නට කියා පුංචි බුමිතෙල් ලිපේ පරිප්පුවක් උයනවාය . මම ද පොල් ගා දී උදව් කර අතර පසුව රෑ කෑම ගනිමින් හෙට දිනයේ වැඩ පිළිවෙල ගැන මට කරුනු පැහැදීලි කර දුනි . වැඩපිළිවෙලේ මට කරන්නට තිබුනේ වෙහෙරේ සංවර්ධනයට ගෙනා ගඩොල් අදින එකය . තවද වෙහෙරේ වැවී ඇති ගස් කපන්නට මෙන් ම , පුරාවිද්‍යා කැණීම් කරන තැන් වල ඉවත ලන පස් කූඩ වලින් ගෙන ඉවත් කිරීමත් ය .

පසුදා උදේ පුරාවිද්‍යා මහත්තයත් සමග අභයගිරියට යද්දී හැමෝම වගේ පාන්දරින් වැඩ පටන් ගෙන ය . පුරාවිද්‍යා මහත්තයා නිලධාරීන්ගේ සිට සුළු සේවකයන් ට ද මා හදුන්වා දුන් අතර හැමෝගෙම මුහුණේ තිබුනේ විශ්මයකි . කොහොම කොහොමාරි පළමු සතියේ අවසන් වෙද්දී අත පය වේදනා මෙන්ම අතේ වූ තුවාලද රැසකාටද ආටියාට මුහුණ දෙන්නට සිදු විය . සෙනසුරාද , ඉරිදා වැඩ නොමැති වීම මට මහත් අස්වැසිල්ලක් විය . පන්සලේ නායක හාමුදුරුවන් මට යෝජනා කරේ , ඔය පුංචි මහත්තයාට පුළුවන් නම් මේ ඉන්න පොඩි කොල්ලෝ කෙල්ලන් ට ඉන්ගිරිසි පොඩ්ඩක් කියල දෙන්න කියා ය . තවද ඉරිදා දහම් පාසලේ උගන්නන්නටද එන්න කීවෝය.  එදා සෙනසුරාද පන්සලේ දී මට හදිස්සියේ ම දුම්රියේ දී මුණගැසුන මගේ හිතවත් විදුහල්පති තුමා නැවත මුන ගැසුනේ ය . මම පන්සලේ නැවතී සිටිනවා කියද්දී ඔහු සතුටු විය . පසුව රෑ කෑමට මටත් පුරාවිද්‍යා මහත්තයාටත් එහි එන්නට ආරාධනා කලේ ය.   ඒ රාත්‍රි කෑම වේල අදටත් මතකය . විශේෂයෙන්ම ඒ රස . ඔය අතර විදුහල්පති තුමාගේ දියණිය සමග කථා කරන්නටද අවස්ථාවක් ආටියා පාදා ගන්නවාය . ඇය විශ්වවිද්‍යාලයට යාමට සූදානමින් සිටින බව ඇය ගේ කථා වෙන් මට වැටහී ගියේ ය . පසුව ඇය මට මහත් කුළුපග විය . ඇය ට මම කීවේ පොඩි අයට ඉංග්‍රීසි උගන්නවන්නට තීරණය කර බවත් , ඉරිදාට දහම් පාසලේ උගන්නන්නටද තීරණය කර බවත් ය. ඇය ද දැන් වසරක වෙලේ සිට දහම් පාසලේ උගන්නන බව පැවසුවා ය .

කාලය කෙමෙන් කෙමෙන් ගෙවී ගියේ ය .  අභයගිරියට මෙන්ම බසවක්කුලම වැව අසල ඇති පන්සලටද මම නැතුවම බැරි චරිතයක් විය . රුක්ෂිකා (විදුහල්පති තුමාගේ දියණිය) ටද එසේම විය . එහෙත් කොලබ කෙල්ලන් මෙන් නොව යම් තරමක් දුරින් සිට ආස්රය කරන්නට ඇය හැමවිටම කල්පනාකාරී විය . සමහර දවස් වලට හවස අපි කිහිප දෙනෙක් බසවක්කුලම වැව තාවුල්ලේ සිට එක එක දේවල් කතා කළෙමු . ඔය අතර ඉතිහාසය ,සාහිත්‍ය සහ කලා වට මුල්තැනක් දුනෙමු . ඔය හැම කතාවකම කථානායිකාව වූ යේ ඇය ය . දැන් සම වයසේ යහළු යෙහෙලියන් රැසක් මට සිටි අතර ඔවුන් සියල්ලෝම වචනයේ පරිසමාර්ත අර්ථයෙන් ම අව්යාජ අය විය.  කුඩා දරුවනට ද මම නැතුවම බැරි විය. ඔවුන් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ මහත් ඔනෑකමකින් ය.තවද ඔවුන් දිනෙන් දින ඉංග්‍රීසි දැනුමෙන් පරිපුර්ණ විය .දිනක් අභයගිරිය නැරබීමට පැමිනි ස්වීඩන් ජාතික සංචාරක කන්ඩායමක් අප කරන වැඩ දෙස බොහොම උනන්දුවෙන් බලා සිටි අතර මම ඔවුනට අපේ වැඩපිළිවෙල සහ මෙහි ඉතිහාසය වටිනාකම් පහදා දුනෙමි . මහත් සේ සතුටට පත් ඔවුන් පසු දින තම කන්ඩායමේ 48 දෙනා සමගම උදව් කරන්නට පැමිණියේ පූරාවිද්‍යා මහත්තයාත් ,  නිලධාරීන්ගේ සිට සුළු සේවකයන් දක්‌වා වූ සියලු දෙනා පුදුම කරවමිනි. ඒ හැමෝම සිතුවේ මෙය මහා ලොකු දෙයක් කියා ය . එහෙත් මට ඒ සදහා වැය වූයේ අවංක සිනාවකුත් තවත් වචන කීපයක් පමණක් ම ය.


දිනක් රුක්ෂිකා සවසක වැව තාවුල්ලේ කථාකරමින්  සිටි අතර හදිස්සෙයේ ම මගෙන් විමසුවේ
"අය්යාට කොළබ අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා ද " ?
මම ගත් කටටම කිව්වේ " ඔව් නංගි අම්ම තාත්තා" ..........
"නෑ අය්යා , අය්යාට කරනේ වැටහුනේ ණෑ නේ
" මම ඇහැව්වේ අය්යා යාලු වෙලා ද ඉන්නේ  ගැණු ළමයෙක් එක්ක "
" තවම නෑ නංගි " ,
"ඔයා ට" ?
"අම්මෝ ...මම බයයි අය්යා ඕවට"
"අප්පච්චි මාව පන්නයි ඔව්ව කරන්න ගියොත්"
එදා ඇය යමක් කියන්නට සැරසුණු බව මට වැටහී ගියත් මම ඇය ඒ සදහා අනුබල නොදුන්නෙමි . රුක්ෂිකා මගේ සම වයසේ සුන්දර යුවතියක් විය .
එදායින් පසුව නැවතත් කිසිම් දිනෙක අප ඔය ගැන කතා කරන්නට නොගියෙමු .

මාස කිහිපයක් ගෙවුණු තැන මට අනුරාධපුරේන් පිටත්ව යන්නට සිදු විය . මම පිටත් වන්නට පෙරදා පූරාවිද්‍යා මහත්තයාත් ,  නිලධාරීන්ගේ සිට සුළු සේවකයන් දක්‌වා වූ සියලු දෙනා මහත් සේ දුක් විය . මම තේ වෙලාවේ සමුගන්නට පෙර ඔවුන් ට කතා කර විට ගැහැණු පිරිමි සියල්ලෝම හඩා වැලපෙන්නට විය . පන්සලේ ද එදා හවසම මගේ ඉංග්‍රීසි පන්තියේ කුඩා දරුවන් ද දහම්පාසලේ දරුවන් ද ඒ අයගේ දෙමාපියන් ද මගේ සම වයසේ මිතුරු කැල මෙන්ම මගේ හිතවත් ගුරු දේපොළ ද මහත් සංවේගයට පත්විය . හැමගේම නෙත් කදුලෙන් තෙත් විය . එය මටද දරාගැනීමට තරම් අපහසු වේදනාසහගත සමුගැනීමක් විය . රුක්ෂිකා සුදු කොළයක ලස්සන කුරුළු ජෝඩුවක් සහිත තම අතින් ඇදී සිතුවමක් මට තෑගී කරාය . "අය්යාට ජය ශ්‍රීමා බෝ හාමුදුරුවන්ගේ පිහිටයි" කියා මට සුභ පැතුවා ය . 

https://www.patreon.com/posts/30646389


අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...