Wednesday, January 30, 2019

මග බලා වැලපෙමි



හිතාගෙන හිටියට
දුර යන්න
ඇයි හැඩුවේ හිතට 
වද දෙන්න 

හිතන් හිටියට 
හිත හදාගන්නට 
බැරි උනේ 
ඇයි තවම 

මොනවා කියන්නද
තවත්
බලන් ඉන්නම් 
හෙටත් 

දන්න්නවා එයි කියා
කවදා හරි දවසක
එත් සැකයි මට එතුවක්කල් 
මා හිදී ද කියා 

Monday, January 28, 2019

එදා , අද සහ හෙට



මම හිතන් හිටපු ඒ
හිත 
මගේ නොවන 
බව 
මගේ හිත මට කියූවද 

තේරුම් ගන්නට තරම්
හිත 
මගේ, එදා හයිය උනේ 
නෑ 

මෙදා මම මග බලා සිටි 
හිත
සදාකල් මට අහිමි බව 
දන්නවා 

අනාගතයේ දිනෙක් ඔය 
හිත 
මගේ කියාගෙන ආවත් පිළිගන්න 
බය බව දන්නවා


ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️
http://nelumyaya.com/?p=9413

Tuesday, January 22, 2019

ජනපති ප්‍රේමදාස සමගින් ආයෙමත් තාත්තා.


මේකථාව වරෙක මම තට්ටයාගේ කොලම ලියන තට්ට මහතයාට පහුගිය අගෝස්තුවේ පැවසුවක් වන අතර නැවත මෙය ලියන්නට මතක් වූයේ වර්තමාන ශ්‍රීලංකාවේ එක්තරා ඉහල පෙලේ දේශපාලන චරිතයක් තාත්තා මුණගැහෙන්නට ලගදී දවසක පැමිණීමත් සමග ය.

එක්දහස් නවසිය අනූදෙක වසරේ දිනක් උදෑසන හයට ට පමණ නිල ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීයෙක් නිවසේ විදුලි සීනුව නාදකර හැටි අදටත් මට මතක ය .මම දොර විවර කර මොහොතේ ඔහු ,

පුතා , තාත්තා ඉන්නවද ? යැයි විමසුවා .

මම ඔව් , ආන් .... ඉන්නවා කන්තෝරු කාමරේ යැයි පවසා සිටි අතර අම්මා ද ඒ මොහොතේ කවුදෝ පැමිණියේ කියා බලන්නට පැමිණ මම අසලින් සිටගත්තා ය .

මේ ....ආටිගල මහත්තයාගේ නෝනා වෙන්න ඕනේ . ඔහු පැවසුවා .

ඔව් , මම තමයි .

මැඩම් , ජනාධිපතිතුමා ඇවිල්ල ඉන්නවා ආටිගල මහත්තයා හම්බවෙන්න .

කුඩා මම පුදුමයෙනුත් පුදුමයට පත් වීමි. ඒමෙන් ම තැති ගැන්මට ද පත් වුනෙමි. ඒ මක් නිසා ද යත් ප්‍රේමදාස ජනාධිපතිතුමා නැමති චරිතය මගේ කුඩා සිතේ සිත්තම් වී තිබුනේ භයානක කෙනෙකු ලෙස ය.

ඒ වන විටත් උප්පති එජාප පාර්ෂව කරුවකු වූ මගේ තාත්තා ඒ වසරේ ම ඉහල පාලනයට නොනැමී රජයේ සේවය අකුරට ඉටුකරපු වරදට එජාපයේ ම ඇතැම් පාලක බලවේගයන් වල උදහසට ලක්ව කලකිරීමෙන් නිවසට වී සිට දුර්භාග්‍ය මත් කාලයක් විය .

ප්‍රේමදාස ජනාධිපතිතුමා නිවසට පැමිණිවග දැනගත් තාත්තා විමතියට පත් වූ බව මට වැටහී ගියේ ඔහුගේ මුහුණ බැලු විට ය . ජනාධිපතිතුමා ගේ පෙනුම අතිශය ගම්බීර විය. නිවසට පැමිණෙන ඔහුට තාත්තා ආචාර කර විට ඔහු ඔහුගේ අත් දෙකෙන් තාත්තා ගේ ආයුබෝවන් කියූ අත් දෙක අල්ලා ගෙන සිනාමුසු මුහුණින් මෙසේ කීය

"ආටිගල ......... තමුසේ එහෙනම් උන්ට තොවිලේ නටන්න කියල ආව නේද ? "

තාත්තා තව වචනයකුත් කියන්නට පෙරම නැවතත් එතුමා ,

උබල වගේ දහයක් හිටියනම් මට ඇති මේ රට මට ගෙනියන්න . ඒත් උබ මොකද කරේ ?

ජනාධිපතිතුමා තාත්තා ගේ ඇස් දෙස බලමින් කථා කළෝය . ඒ හැම වචනයක් ම නිවාස පුරා ගිගුම් දෙන්නට විය . මමත් අම්මාත් ඔහු දෙස බලා සිටි අතර නිවසේ මෙහෙකාරිය අම්මා ලගට විත් යමක් මිමිනුවාය .

ඔය අතර ජනාධිපතිතුමා අම්මා දෙස බලා සිනාසෙමින් කීවේ "නෝනා මහත්තයා අපිත් උදේට කාල නැහැ තවම" ලෙස ය.

අම්මා පෙරලා පිළිතුරු දුන්නේ "සර් උදේ කෑමට අපිත් එක්ක ඉන්නවනම් කොච්චර් හොදයි ද කියා ය "

ඔය අතර තාත්තා කථාව මැදට පැමිණ ,

සර් .... මම ..... කියද්දීම ,

එතුමා ,

"මම දන්නවා මනුස්සයෝ හැම දෙයක් ම . ඊයේ රෑ තමයි මම විස්තරේ හරියටම දැනගත්තේ .

ඒක තමයි මම මහ පාන්දර ගෙදරටම ආවේ" .

තාත්තා කිසිත් නොකියා බිම බලාගත අතර ,

නැවත වරක් තාත්තා දෙසට හැරුන ඒතුමා ,

"තමුන් හෙට ඉදං වැඩට එන්න ඕනේ .

කරන මිනිහට කරන්න දෙන්නැති උන් පන්නන්න තොවිලේ මම නටන්නම් . "

අනික ඔය ඇමරිකා යන්න හදන වැඩේ අල්ලලා දානවා ටික කාලෙකට .

තේරුනා නෙ... ? කීය .

තාත්තා ද පෙරලා " ඔව් සර් " .කීවේය .

පසුව මද වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුනු එතුමා උදේ ආහාරයත් නිවසින් ම ලබාගෙන පිටව ගියේ ආයෙත් ආපු වෙලාවක එන්නම් යැයි කියමින් ය .
එහෙත් නැවත කිසිදා ප්‍රේමදාස ජනාධිපතිතුමාහට අප නිවසට පැමිණෙන්නට නොහැකි වූ අතර ඉතා අවාසනාවන්ත ලෙස තම දිවියෙන් සමු ගත්තේ රටම  මොහොතකට අරාජික කරමින් ය .


ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️

Friday, January 18, 2019

නිමක් නොවූ සංචාරය 04, දබුළු විහාරයේ ටුවරිස් ගයිඩ් වැඩේ,ගිරිතලේ දී මලියා දුන් ආතල් කෝටිය,ගිණිමැලය මැද නොනවතින ගී සමගින් පැරණි පුජානගරයේ සංචාරය සහ බාගෙට හිදුණු පරාක්‍රම සමුද්‍රයේ දිය කෙලිය .

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින්

නිමක් නොවූ සංචාරය 02 කොටස මෙතනින්

නිමක් නොවූ සංචාරය 03 කොටස මෙතනින්


ගුණේ මාමාගේ සුපුරුදු විධාණයත් එක්ක පාන්දර හතරට සීතලේ මාතලෙන් පිටත් උන අපි පිටවෙන්නට මොහොතකට පෙර පන්සලේ නවාතැන් ගත්ත ශාලාව  පිරිසිදු කරලා යන්න අමතක කරේ නෑ. පාන්දර පිට උනාට මොකද අවට නොපෙනෙන තරමේ ඝන මීදුමක් අප වෙලාගෙන තිබුනා . අපේ පරණ බස් එකේ විදුලි පහන් කොහොමත් ම ප්‍රමානවත් උනේ නෑ මේ මීදුම එක්ක හැප්පෙන්න. පාරේ කියල වාහනයක් වත් නෑ . ඉදහිට හම්බෙන ලොරියක් , ටිපර් එකක් අරුනාම . අපේ කට්ටිය හැමෝම වගේ නැගිටලා හිටියා . ජයේ අයියා පොඩ්ඩක් පිටිපස්සට ගිහින් හිටිය නිසා මම ගුණේ මාමා ලගට ගියා මොනවාහරි දොඩවන්න එක්ක . මොකද අපි කොයිම වෙලාවක වත් ගුණේ මාම රියදුරු අසුනේ තනි නොකරන්න තීරණය කරගෙන හිටියේ .

ගුණේ මාමා - දැන් කොහොමද පුතේ කකුල

මම - ටිකක් රිදෙනවා මාමේ , ඒත් ගානක් නැහැ

ගුණේ මාමා - මට හිතාගන්න බෑ ඒ සිද්දිය , වෙලාවට පුතා පැන්නේ . නැත්තම් මෙතන මොනවයින් මොනා වෙයි ද කියන්න බෑ .

මම - ඒක තමයි මාමේ .මලියාගේ වැඩ නේ .

ගුණේ මාමා - මේ හත්ඉලව් මීදුම තවම ඉවරයක් නෑ නේ , නිවී හැනහිල්ලේ එලවන්නත් බෑ . දැන් ටිකටික පෙනවත් අඩුයි නේ පුතේ .

මම - මම එලවන්නද මාමේ ?

ගුණේ මාමා - උබ දන්නවාද පුතේ මේවා එලවන්න ? අනික කාර් එක වගේ නෙවෙයි නේ .


මම නිහඩ වීමි , බසය නාඋල , ලෙනදොර පසු කරමින් ඉදිරියට යන අතර මීදුම කෙමෙන් අඩු වීම අපට මහත් අස්වැසිල්ලක් විය . මට මතක විදියට උදේ හය වෙද්දී පමණ දබුල්ලට පැමිණි අපි අසල කඩයකින් උණු බනිස් කා කහට කෝප්පය බැගින් බීවෙමු . පසුව ජයේ ලොක්කාගේ උවමනාව මත දබුළු රජමහා විහාරය වන්දනා කරන්නට පිටත් උනෙමු . ගුණේ මාමා සහ පිරිවරේ කිහිපදෙනෙකු බසයේ නැවතුන අතර අප විහාරය බලන්නට වන්දනා කරන්නට ගියේ ගුනේ මාමා ට ඉක්මණින් එන පොරොන්දුව පිට ය . දබුලු විහාරයේ සංචාරකයින් ට කියා සිටියේ අපත් මාර්ගඋපදේශකයකු නොමැතිව පැමිණි සුදු ජාතික යුවලක් සහ ඔවුන් ගේ දරු දෙදෙනාත් ය.  ඔවුන් සුහද සිනාවක් මා හා ජයේ ලොක්කා වෙත පෑ අතර ඔවුන් අපෙන් විමසුවේ ඉංග්‍රීසි කථා කරන්නට පුළුවන් ද කියාය  . ජයේ ලොක්කා කෙලින් ම මට කීවේ "මල්ලි මුන් එක්ක කතා කරපං කියා ය" පසුව දැනගත් පරිදි ඔවුන් බ්‍ර්තාන්ය ජාතිකයන් වන  අතර පළමු වර මෙහි පැමිණි අය ය .ජයේ ලොක්කාගේ උපදෙස් මත මම දන්නා තරමින් විහාරයේ අයිතිහාසික වැදගත් කම පහදන්නට වීමි .අප හමුවීම මෙන්ම විස්තර කිරීම මත ඔවුන් බෙහෙවින් සතුටු වූ බව මට වැටහුණි . උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිලිබදව ද ඔවුන් කනගාටුව පල කර අතර ලංකාවේ සුන්දරත්වය ඔවුන් වශීකර ඇති බව මට තේරුම් ගියේ ය . පසුව අප විහාරයෙන් වෙන්වන මොහොතේ ඔවුන් අප පැමිණි බසය බලන්නට ද පැමිණෙන්නට අමතක නොකලොය . බසයේ "ලේලන්ඩ්" නම දෙස බලා සුදු ජාතික යුවල පැවසුවේ අපේ රටේ පරණ බස් එකක් නේද කියා ය . ඔවුන් අප සැමට ආචාර කර යන්නට මොහොතකට පෙර රුපියල් දහසක් මට දිගුකරේ විහාරයේ මග පෙන්වීම ට  සන්තෝෂමක් ලෙස මෙය තබා ගන්න ලෙස ය . අපේ රටට ආගන්තුකයන් ලෙස සලකා මේ කරුණු කියාදුන්නා මිස මුදල් බලාපොරොත්තුවෙන් එය නොකළ බව කියා මම පෙරලා ඒ මුදල් ප්‍රතික්ෂේප කලෙමි . ඔවුන් නොසෑහෙන ස්තුති කර අපෙන් වෙන් වී ගියෝය .

දබුළු රජමහා විහාරය වන්දනා කර අපි ඉණාමළුව , දිගම්පතන පසු කරමින් හබරණ හන්දියේ මද වෙලාවක් බසය නවතා ගිමන් හැලෙමු. අපේ උන් කිහිප දෙනක් උදේම වැඩ අල්ලන්නට පටන්ගන්නට හැදුවත් ජයේ ලොක්කා ඊට අවසර නොදුන්නේ , පිළිවෙලක් ඇතුව ඔහුගේ නෑ ගෙදර යායුතුය කියූ නිසාය . හබරණ දී මමත් මලියාත් තුවාල වලට නැවත බෙහෙත් දාගත් අතර අනෙක්උන් ටවුමේ රස්තියාදුවක් ගසා පැමිණෙන්නට විය . හබරණින් තේ බී පිටත් උන අපි මොරගස්වැව , මින්නේරි ජාතික වන උද්‍යානය පසු කරමින් මින්නේරිය නගරයට පැමිණියෙමු. එතැන්සිට ගිරිතලේ වැව ට පැමිණි අපි හොදහැටි නාගත් අතර මමත් මලියාත් තුවාල වලට බෙහෙත් දැම්ම නිසා අපේ උන් දිය කෙලින හැටි ඉරිසියාවෙන් යුතුව නරබමින් සිටියේමු .මම මලියාට දෙහි කපන්නට වූ යේ "තෝ බේර ගන්න ගිහිං මට දැන් ආතල් ගන්න බැරි උණා " කියා ය .

මලියා - ඒවගේ ද බං මගේ මළගෙදර ඇවිල්ලා උබල ඔක්කොම මාරි බිස්කට් එකක් කාල , ගොක් කොළ කොඩි වැලක් ඇද්දනම්. මෙන්න මෙහෙ කටවහගෙන මෙයින් ෂොට් එකක් දාපන් බං .

මම - තෝ කියන්නේ ටීක් වෙලා වැවේ පැන්නොත් මට ආයේ බේරාගන්නද ? මම මලියා උරමින් සිටි රොකට්ටුව කටෙන් ඇද වැවට විසි කරෙමි .

මලියා - යකෝ බාගයක් තිබ්බා .....

මලියා මාරාවේශ විය .

මලියා - උබලත් එක්ක මොන ට්‍රිප් ද බං , මම යනවා යන්න කියා මලියා මල් මදයෙන් පාරේ යන්නට විය .

මම - උබ කොහෙද යන්නේ ?

මලියා - ගෙදර , නැතුව වෙන කොහෙද .

මම - ආ පලයන් එහෙනම් ....

මලියා -  යනවා තමයි යකෝ .....

කියා මලියා පාරට යන්නට විය . මම  හිතුවේ ඌ සිරාවටම යන්නේ නැතුව ඇති කියා උවද අපි හැමෝම යනකම් මලියා කොලබ සිට පොලොන්නරුව පැත්තට යන කොලබ-පොලොන්නරු බස් එකක් එනකම් ඉන්නවා අපි දුටුවේ හෝල්ට් එකේ දී ය . මලියා කොලබ යන්නට කියා හිටන් ඉන්නේ පොලොන්නරුව පැත්තේ බස් නැවතුමේ ය . කට්ටියටම හිනාව නතර කරගන්නට බැරුව ගියෝය . මුළු බස් එකෙන් ම ලැබුණු හූ හඩ මැද මලියා රෙදි ඇදගෙනම බසයට නගින්නට විය .

පසුව ටික වෙලාවකින්න් මු මර හඩ දී හඩන්නට වූයේ , මලියා ට මැරෙන්නට දුන්නේ නෑ කියා ය . පසුව අම්මා බලන්නට ඕනේ කියා ය . අවසාන වශයෙන් මලියා නැවත හඩන්නට වූයේ උගෙන් ලොකු වරදක් උනා කියා ය . මේ ආදී දහසක් ආතල් මැද පොලොන්නරුව නගරයට පැමිණි අප කෙලින් ම ගියේ ජයේ අයියා ගේ ලොකු තාත්තාගේ ගෙදරට ය . අපිව මහ ඉහලින් පිළිගත් ජයේ අයියා ගේ ලොකු තාත්තා අපේ සංචාරය ගැන අසා පුදුම විය . ජයේ අයියා ගේ ලොකු අම්මා සහ දූවරු වහා අපට රැ කෑම පිළියෙළ කරන්නට විය . ඔය අතර අපේ උන් ජයේ අයියා ගේ ජාමේ බේරිය යුතු නිසා හීණියට ෂොට් එක් අරගෙන ගිනි මැලය වට හිද වැඩිපුර සින්දු කියමින් ආතල් එකක් ගත්තෝ ය .

බැදපු වැව් මාළු , මයියෝක්කා කිරි මාලුව එක්ක පොල් සම්බල් මෝරු මිරිස් කරල එක්ක කුබුරේ රතු හාලේ බත අපට දිව්‍යලෝක සැප ගෙනාවේය .

පසු දින දිනයේ පුජානගරයේ ඇවිදින්නට යන්නට පෙර උදේට නිවසින් ආහාරය ලෙස මයියෝක්කා සමගින් කොච්චි සම්බලක් ලැබුණු අපි ඒවා ද රස විද නැන්දා දුන් දවල් ආහාරය සහිත බත් මුල් ද බසයට දමාගතිමු . ඔවුන් අප නිසා හරියට මහන්සිවී ඇති බව මම  ජයේ අයියා ට කීවෙමි . පසුව මුළු දිනය පුරා පුජානගරයේ සංචාරය කර අපි වතුර හොදටම හිදී තිබු පරාක්‍රම සමුද්‍රයේ බැස නාන්නට වීමු . මමද තුවාලය අමතක කර හොද හැටි නාගත්තේ ඊයේ ගිරිතලේ දී මට උන පාඩුව පියවාගන්නත්  එක්කම කියා ය . හොදට නාගත් අපි වැව් බැම්මේ සිට හොදට කෑවෙමු . පසුව මනංපිටිය පාළම බලන්නට ගිය අපි හැන්දෑවෙලා නැවත නිවසට පැමිණ අල්ලාප සල්ලලාපයෙන් හැන්දෑව ගතකර රෑ කෑම කලින්ම ගත්තේ හෙට දිනයේ අනුරපුර සංචාරයට යන බැතිබර සිතුවිල්ල පෙරදැරි කරගෙන ය . ගුණේ මාමා පුදුමයට මෙන් කිසිවක් නොකීවේ අනුරපුර යමු කියා කවුරු ඇසුවත් බෑ නොකියන ස්වයං ප්‍රතිපත්තියක එලබ ගැන සිටි බව මම දැනගත්තේ නින්දට යන්නට සුළු මොහොතකට පෙර ය .

නිමක් නොවූ සංචාරය 05 කොටසින් නැවත හමුවෙමු !

ස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️
http://nelumyaya.com/?p=9055

Thursday, January 10, 2019

නිමක් නොවූ සංචාරය 03, සීතලයි කිව්ව එන්ජිම,ලබුකැලේ වත්තෙන් ලැබුණු ආගන්තුක සත්කාර,මරණය පෙනීපෙනී රම්බොඩ ඇල්ලට පැන්න රොකට්ටුව බේරපු මෙහෙයුම එක්ක සීතල මාතලේ අමුවෙන් රැයක්.

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින්

නිමක් නොවූ සංචාරය 02 කොටස මෙතනින්

පාන්දර නැගිටිමු කිව්වාට, දැනුන සීතල පාන්දරින් ඇහැරෙන්නට අපිට ඉඩ නොදුන්නේ ය . ගුනේ මාම උදේ හතට විතර ඇහැරිලා අපි වත් ඇහැරවපු එක තමයි මුලින් ම කරේ . හැමදාකම වගේ ගුනේ මාමා මුල් ම රාජකාරිය තමයි බස් එක වටේ පොඩි රවුමක් ගහන එක .  අපි යන්න කියල සුදානම් වෙන අතරේ අරවින්ද ගේ ලොකු මාමා අපිට කන්න කියල සීනිසම්බල් එක්ක පාන් ගෙනත් දෙනවා . අපි හැමෝටම කන්න දෙන්න ඒ මනුස්සයාට හොද වියදමක් යන්න ඇති . කොහොම හරි කට්ටිය දෙයියනේ කියල යන්න බස් එකට නැග්ග . ගුනේ මාමා සුක්කානමට වැදලා කාරියේ ස්ටාට්කරන්න හැදුවට මොකද එන්ජිම සීතලට තවම නිදි ද කොහෙද . කීපවරක් උත්සාහාකරත් බස් එක ස්ටාට්උනේ  නැහැ.

ජයේ ලොක්කා - "මොකද මාමේ" ,
ගුනේ මාමා - "සීතල පලාත් වල දී මෙහෙම තමයි බං . හරි එහෙනම් කට්ටියත් එක්ක තල්ලුවක් දැම්මොත් හොදයි" .  ඒ ගුනේ මාමා ගේ විදානයි .

උදේ පාන්දර කට්ටියත් එක්ක හිරිඇරගන්න කියල තල්ලු කරා ... බස් එක පැන පැන වගේ ගිහිලා මීදුමට අපි අපිවත් පෙන්නේ නැතුව හිටපු වෙලේ බස් එකේ  කළු දුම් ගුලි වලින් අපිව අතරමං කරා වගේ . බස් එක හිමිං ඉස්සරහට යනවා ... අපි හැමෝම බස් එක පස්සෙන් දුවනවා . බලන් ඉන්න අයට හිනාසාගරයක් .

මම - "ගුනේ මාම තල්ලු කරපු එකට ද මෙහෙම කරේ" මම විමසීමි
ගුනේ මාමා -   මේ ජයේ ගේ පැලෑන් නේ පුතේ .

එතකොට තමයි දැනගත්තේ පොඩ්ඩක් ඉස්සරහට ගෙනියමු කියල තියෙන්නේ ජයේ ලොක්කා කියල . අරවින්ද ගේ ලොකු මාමාලාගේ ගෙදරට ගොඩවුණු අපි හැමෝම අරවින්ද ගේ ලොකු මාමාට ස්තුති කරලා එහෙන් පිට උනා . අරවින්ද නැවතුනා මාමලාගේ ගෙදර . දැන් ගමන යන්න පටන්ගන්නේ ආරම්බයේ දී  හිටි සාමාජිකයන්ගෙන් ඒක් අයේක් නැතුව .

අපි ගෙදර ගත්ත අයට කුලියත් ගෙවලා යතුරු භාර දීලා හක්ගලින් පිට වෙද්දී මට මතක විදියට උදේ නවය පහුවෙලා .  නුවරඑළියේ ටවුමට ආපු අපි නැවත වරක් බෝතල් බැංකුව පුරවන්න කටයුතු කරා. ඒ වගේම ගමනට ඕනේ දේවල් ගන්නත් එක්කම . නුවරඑලිය ටවුමට සමුදුන්න අපි ගමන නැවත වරක් ආරම්භ කරා. නුවර එළියේදී අවට කෙල්ලන් ට උසුළුවිසුළු කර අප දෙස අවට උන් බැලුවේ හරියට වණචාරීන් පිරිසක් බසයක යන දසුනක් බලන පරිද්දේන් ය .

ඔය අතර රවියා කියන්නේ ලබුකැලේ හරියේ පොඩ්ඩක් නවත්තමු කියාය . ඒ උගේ නැන්දා ව බලන්නට ය . කොලබින් පැමිණි අය ලෙස මහා ඉහලින් පිළිගත් අපව බලන්නට වත්තේ බොහෝ දෙනෙක් පැමිණ සිටියා . රවියා වීරයෙක් මෙන් හැම තැනම ගොස් හැමෝසමගම කතාකරන අතර රවියාගේ නැන්දා මුළු බස් එකටම විකුන්නන්න කියල හදන වැඩේ දුන්නා තේත් එක්ක . රවියා අපිට වඩා වයසින් අවුරුදු තුනක් විතර වැඩි ඇති . උපතින් හින්දු භක්තිකයකු වූ ඔහු සිංහල හැසිරවූයේ අපටත් වඩාහොදට ය . රවියා අපේ ගමේ නැවතී සිට පිළියන්දල හෝටලයක වැඩට යන අතර ගමරට පැමිනෙන්නේ වසරකට එක වරකි . අම්මා සහ තාත්තා ඔහුව දමාගොස් ඇත්තේ කුඩා කල වන අතර ඔහුව හදා වඩා ගනුලැබුවේ මේ කියන නැන්දා විසින් ය . නැන්දා කුඩා කෑම කඩයක් පවත්වාගෙන යන අතර ජීවත්වුයේ අපහසුවේන් බව පෙන්නේන්නට තිබුනේ ඇය වටා සිටි ළමුන් පස් දෙනා දැක්ක විටය . එහෙත් ඔවුන් කොලබ සුපිරි පැලැන්තියේ උදවියට වඩා ආගන්තුක සත්කාරයේ පරතෙර ගිය අය විය . හැමටම ස්තුති කර ජයන්ත අයියා සහ අප සැම පිටව යන්නට මත්තෙන් ජයන්ත අයියා කාටවත් නොපෙනනෙන්නට මෙන් රුපියල් දහසක් රවියා ගේ නැන්දා ට දුන්නේ "ළමයින්ට පොත් අරන් දෙන්න අක්කේ " කියා ය . ඒ ජයන්ත අයියා ගේ හැටිය . පැකිලෙමින් ඒ මුදල අතට ගත් ඇය ඔහුට නොසෑහෙන ස්තුති කළාය .

පසුව රම්බොඩ දිය ඇල්ල නරබන්නට ගිය අප මෙහි නාන්නට තීරණය කළෝය . එහෙත් වතුරෙහි ඇති සීතල අපව පසුපසට අදින්නට විය . ඉන් නොනැවතුන අප පළමු බෝතලයේ මුඩියවිවර කරන්නට වූයේ අපගේ තැබෑරුම ජයග්‍රාහී තුන්වන දිනටත් අරබමිනි . ඔය අතර මලියා හදට ගොස් සිටි බව අප කාටත් වැටහුනේ පොර දිය අල්ලට  පටන්ගත් දැක්ක විට ය . මොහොතකින් මලියාගේ මර විලාපය ඇහෙන්නට වූ යේ අප සැම දෙනාම කම්පනයට පත්කරමින් ය . බලද්දී මලියා සැඩ පහරේ ගහගෙන යනවාය . බලන් ඉන්නට දෙයක් නැත . එක්කෝ ඌ බේරා ගත යුතුය නැත්තම් මැරෙන හැටි බලන් සිටිය යුතුය . හිතන්නට දෙයක් නැති තැන මම ද සැඩ පහරට පැන්නෙමි . ප්‍රචණ්ඩ ජලකද සමග පොර බදන්නට බැරි තරම් ය . මලියාව කොහොමාරි බේරා ගත යුතුය යන සිතුවිල්ල පමණක් මගේ හිත තුල ඒ මොහොතේ තිබුණි . මොහොතකින් මම මලියා දෙසට ලං වත්ම මගේ වම් පාදය ගලක වැදුණි . උඩ සිට ගල් කිහිපයකම වැදුණු මගේ කකුල් අත් තවත් වේදනාවට පත්වුයේ මේ ගල වැදුණු විටය . ඒ වේදනා පසෙක තබා මලියා දෙසට තවත් ලංඋනෙමි . උගේ දකුණු ඇත අල්ලා ගත් මම ඌ මගේ සම්පුර්ණ ග්‍රහණයට ගතිමි . ඔය අතර සමීරයා , සහ ජයේ අයියා වතුර පාරේ පහලට ගොඩබිමින් ලන්වන්නට විය . මලියා ව හොදින් ග්‍රහණයට ගත් මම ඌ දෙස බලද්දී ඌට සිහිය නැති වෙලාය .පසුව අපි හැමෝම මලියා ගොඩට ගෙන රෙදි වලින් ඔතන්නට විය . ටික මොහොතකින් සිහිය ආ ඌට නැවත කියන්නේ නාන්න ඕනේ කියාය . ජයන්න අයියා , ගත් කටටම කීවේ "ආටිගල මල්ලි නැත්තම් තෝ මෙලහකටත් පරලොව " කියා ය.

මලියා ගේ වික්‍රමයෙන් පසුව රම්බොඩ ටවුමෙන් කකුලට සහ අතට බෙහෙත් දාගත් මම සහ මලියා නැවත බසයට ගොඩවූයේ ගමනාන්තයවූ මාතලේ යන අදහසිනි . තවලම්තැන්න හරියේ දී ගුණේ මාමා බසය මොහොතකට නතර කරේ විවේක ගන්නට ය . පසුව පුස්ඇල්ලාව ටවුමෙන් දවල් ට කෑ අප නැවත වරක් බෝතල් කඩාගතිමු . වේදනාව අඩුවෙන්නත් එක්ක කියා මම වැඩිපුර බොන්නට විය . මලියා ද එසේම වූ අතර පසුව මම නින්දට වැටුනේ ටික වෙලාවකින් ඇහැරෙන්නට සිතාගෙන ය . ඇහැරුනේ පෙරාදෙනියේ දී ය . මෙහිදී සජීව , චානා සහ අමියා අපට සමු දුන්නේ ඔවුන්ට කොලබ යන්නට උවමනා ය කියා ය . පැමිණි අයගෙන් හතරක් දැනට අඩු ය . අපි දළදාමාලිගාවට නොගියේ බී ගෙන එහි යන්නට සුදුසු නැති නිසාය . නුවරින් කටුගස්තොටට පැමිණි අප ඒ නවය පාර දිගේ කදු වළලු පහුකරගෙන කෙලින්ම පැමිණියේ සුන්දර මාතලේ නගරයට ය . අපගේ නවාතැන වූයේ අළුවිහාරය ය . පන්සලේ බොන එක හොද මදි නිසා එදා රෑ කවුරුවත් නොබීවෝය . කට්ටියත් එක්ක ටවුමෙන් රෑට හොද පදමට කා හෙට ගමන ගැන කතාව පටන්ගත්තේ සුපුරුදු පරිදි ජයන්ත අයියා ය .

ජයේ ලොක්කා - ගුනේ මාමේ අපේ ලොකු තාත්තා ඉන්නේ පොලොන්නරුවේ නේ අපි හෙට එහෙ යං . මොකද කියන්නේ .

ගුනේ මාමා  - අනේ මන්දා බං , වෙලාවකට මට හිතෙනවා මම උබලට රැවටුනාවත් ද කියල . මේක ඉවරයක් වෙන්නේ නැති ගමනක් නේ බං .

ජයේ ලොක්කා - එහෙම කියන්න එපා මාමේ , මාමා කැමති නැත්තම් අපි පිළියන්දල යං .

ගුනේ මාමා  - දැන් මම උබට එහම කතාවක් කිව්වද ? නෑ නේ .... ඇත්තටම මට හරි මහන්සි ජයේ .

ජයේ ලොක්කා - හරි , හෙට මම බස් එක එලවන්නම් . ගුනේ මාමා කොල්ලොත් එක්ක බොන්න . මොකද කියන්නේ .

ගුනේ මාමා  - මේක මට ඇර වෙන උන්ට එලවන්න බෑ ළමයෝ . හරි හරි එහෙනම් පොලොන්නරු යමල්ලාකෝ .

ගුනේ මාමාගේ ගමන ස්ථිර කිරීමත් සමග අපි සැම සතුටෙන් ඉපිල ගියේ කාලෙකින් නොගිය පොලොන්නරුව ට යාමට ය . පාන්දරින් පිටව යන්නට උවමනා වූ බැවින් අපි හැම හොද ළමයි මෙන් අමුවෙන් නිදාගත්තේ හෙට දිනයේ පොලොන්නරු  සිතුවිල්ලත් එක්කම ය .

නිමක් නොවූ සංචාරය 04 කොටසින් නැවත හමුවෙමු !

Tuesday, January 8, 2019

නිමක් නොවූ සංචාරය 02, අනුනමයෙන් බේරුණු වල්අලි ප්‍රහාරය , රාවණා ඇල්ලේ දිය කෙලිය සහ බස් එකේ තෙරක් නැති තැබෑරුම.

නිමක් නොවූ සංචාරය 01 කොටස මෙතනින්


උදේ තුනහමාරට විතර ගුණේ මාමගේ බෙරිහන්දීමත් එක්ක නැගිටපු අපි හතරහමාර වගේ වෙද්දී යන්න පිටත් උනා . යන්න ඉස්සර ඔක්කොම ඉන්නවද කියල බලලා කතරගමින් පිටත් උන අපේ ඊලග නැවතුම් පොළ වෙන්නේ රාවනාඇල්ල බව ජයන්ත අය්යා තීරණය කරලත් ඉවරයි .  අද වගේ වාහන නැති මේ පාර වල නිදහසේ බසය හසුරවන ගුණේ මාමා දැක්කාම මටත් ආස හිතුණා බස් එක එලවල බලන්න. ගමන පටන්ගත්තා විතරයි වගේ ලුණුගම්වෙහෙර පැත්තේ දී එක පාර ගුණේ මාමා බසය නැවත්වනවා . පොල්ලෙන් ගහන්න වගේ බ්රේක් කරලා . මම හිතුවේ මොකෙක් හරි යටවෙලා කියල . බස් එකේ මැද හරියේ හිටපු අපි කිහිපදෙනෙක් රියදුරු අසුන වෙත දුවලා ගියේ  මොකක්ද විස්තරේ කියල බලන්නත් එක්කමයි .

මොකේ ගුනේ මාමේ  ,
බලපන් කෝ පාර මැද ඉන්නේ කවුද කියල ,

බලද්දී හීන්දාඩිය ගලන තරම් , වල්අලි රංචුවක් පාර මැද . බස් එක දිහා බලා ඉන්නවා . ගුනේ මාමා හෙඩ් ලයිට් ඩිම් කරලා සුක්කානමට අත් දෙක තියාගෙන බලන් ඉන්නවා .

ඔතනට දුවගෙන ආපු මලියා කීවේ ,  "ගුනේ මාමේ අපි හෝන් එක ගහමුද කියල "
ගුනේ මාම ගත්කටටම කීවේ , "තෝට අමු කැවිලද? මුන් ඔක්කොම අපිව  සම්බෝල කරයි, උන් යනකම් බලන් හිටහන් , සද්ද නොකර" "මේ උන්ගේ වැයික්කිය නේ පුතේ "
පැය බාගයක් යනකොට උන් හෙමින් කැලේ ඇතුලට ගමන් කරා . අපිත් නිවීහැනහිල්ලේ ගමන පටන්ගත්තා . ආයේ මග නතර කරපු ගුනේ මාමා අයියනායක දෙවියන්ට කොළ අත්තක් එහෙම එල්ලලා නැවත ගමන පටන් ගත්තා . ඒ වෙලාවේ ගුනේ මාම ගේ තැනට සුදුසු නුවන නොවන්නට අපි අද මෙතන නැති වෙන්නත් තිබ්බා කියල අදටත් මට මතක් වෙනවා .

කොහොම කොහොමාරි තණමල්විල හරියට එද්දී උදේට කන්න උවමනාවක් සහ තනමල්විල මල් ගන්න උවමාවකුත් ජයන්ත ලොක්කාට එනවා . කට්ටිය ඇරලා තිබ්බ එකම එක හෝටලේ උදේ කෑම  ගනිද්දී ජයන්ත අයියා කොහෙන්ද පොලිතින් මල්ලක්ක මල් අරගෙන ෂේප් එකේ ඇවිල්ල බස් එකේ ස්ථානගත කරනවා . "තනමල්විල ඇවිල්ලා හිස්අතින් යන්න බෑ නේ නේද බං " ඔන්න ඔහොමයි ජයන්ත ලොක්කා මට කීවේ . ඒ කඩේ මිනිස්සු අපිට ඉහලින් ම සැලකුවා . අද වගේ නෙවේයි ඉස්සර වැඩියේ සංචාරකයෝ නැති මේ පලාත් වලට එන ආගන්තුකයන්ට ඉහලින් සලකන පුරුද්ද එදා වගේ ම අදත් එහෙම්මමයි කියල මට හිතෙනවා .

උදේ පායන ඉර එලියත් එක්ක පාර හරිම ලස්සනයි . කෙලින් පාරේ ගුනේ මාමා හැටට හැටේ පාගානවා . වැල්ලවාය ටවුමට ආපු අපි ගමනට ඕන කරන බඩු එහෙම අරගෙන බස් එකට තෙල් එහෙම ගහගත්තා . ගුනේ මාමා හුලං එහෙමත් බස් එකේ බලලා ගමන පටන් ගත්තා මෙතන ඉදන් දිගටම කන්ද තමයි හම්බවෙන්නේ . වැල්ලවාය ටවුමේදීත් හැමෝම වගේ අපි දිහා විපරමෙන් බැලුවේ වෙන ලෝකෙකින් ගොඩබැහැපු කට්ටියක් දිහා බලන විදියට . කොහොම කොහොමාරි දවල් වෙද්දී රාවනා ඇල්ල ලගට ආපු අපි හෙමින්සීරුවේ රාවනා ඇල්ල පැත්තට අදුන. අද වගේ මේ පැත්ත කාර්ය බහුල නැහැ . අපි විතරයි හිටියේ සංචාරකයන් ට කියල . රාවනා අල්ලේ වතුර අඩුයි . කට්ටිය හොද පදමට නාගත්තා . ඒ වගේම පදමට බොන්නත් . කොහොම නමුත් ජයේ ලොක්කා හොද කල්පනාවේ ඉන්නේ . පැය කීපයක් වතුරේ විනෝද උන අපි වතුරෙන් ගොඩට එන්න පැය කීපයක් ගත උනා . නෑවට පස්සේ හොදටම බඩගිනී . කියන්න වචන නෑ . කන්න කියල කඩයක් වත් අහලක නැහැ . ඇල්ල ටවුමට ආපු අපි ඇති පදමට දවල්ට කාල එහම ගමන පටන් ගත්තා . බස් එකේ පිටිපස්සේ බෝතල් කැඩෙනවා විතරයි ටිකකින් බල්ලදී හිස් . කොහොම කොහොමාරි බණ්ඩාරවෙල ටවුමට ආපු අපි ආයෙත් බෝතල් බැංකුව පුරවා ගත්තා . ඒ වගේම හපන්න ජාතිත් . දෝව රජමහා විහාරය බලමු කියන් හිටියට අපිට පන්සල මග හැරිලා . එක අතකට ඒක හොදයි . බේබද්දෝ සෙට් එකක් පන්සල් යනවට වඩා .

හෙමින් හෙමින් වලිමඩ ටවුමට ආපු අපිට සීතල හුලගන්න වෑයම් කරන්න ඕනේ උනා . ඔය අතර ගුනේ මාම කිව්වේ ටිකක් නැවතිලා යමු කියල . ඒ අවසරයෙන් එලියට පන්න අපේ සෙට් එක එකතු කරගන්න පැයක් විතර කට්ට කන්න උනා. බිම් කරුවලත් එක්ක වැලිමඩින් පිටවුණ අපි හක්ගල නැවතුනේ අපේ නුවරඑලි සම්ප්‍රාප්තිය සටහන් කරන්නත් එක්කමයි . හක්ගල අරවින්ද ගේ ලොකු මාමා හොයාගෙන ගිය අපි දවසක කුලියට ගෙදරක්ම ගත්තා. හවස්ජාමයේ සීතලේ කරන්න තියන එකම වැඩේ ඉතින් බොන එක නිසා නාකියා ගෙන හැමෝම බෝතලේ වටේ සෙට් උනා . අරවින්ද ගේ ලොකු මාමා රෑට කන්න කන්න පාන් අල කිරි හොදි , පරිප්පු එක්ක පොල් සම්බල් ගෙනත් දුන්නා .

හොදට බීගත්ත අපි පාන් සහ උණු උණු අලහොද්දටත් , පරිප්පු එක්ක පොල් සම්බලටත් වගකිව්වේ බීපු ඒ ගැන දෙපාරක් හිතන්නේ නැතුව .  කිලෝමීටර එකසිය පනහක් විතර එලවපු ගුනේ මාම වෙරි මරගාතේ ම වගේ කියන්නේ...



 "ජයේ... ඕ...න් බං නුවරඑලිත් ආ.......ව ..... දැන් උබ මොකද කියන්නේ .... ආ ....? "
ජයන්ත අයියා - "ගුනේ මාමේ මම තවම මාතලේ ගිහිල්ලා නෑ , ආයේ ලංකාවට එන එකත් විශ්වාසයක් නෑ කරන රස්සාවත් එක්ක . ඊලග පාර පෙට්ටියෙන් ද කියන්නත් බෑ ..... අපි මාතලේ යං මාමේ ...... "

උබ ... දෑ......න් ... නුවරඑලිත් ගෙනාව .... දැන් මාතලේ යමං කියනවා ..... හරි එහෙනං යමං ..... උබේ ඔය ආ....යේ යන්න වෙන්නේ නෑ කියපු කථාව මගේ පපුවට පිහියෙන් ඇන්නා වගේ බං .... , යකෝ උබලට ඉස්සර අපි යන්න ඉන්නේ ..... ඔය අවකැපෙන කථා නොකිය හීටිං මෙතන .

කට්ටියම මුහුණට මුහුණ බලාගත්තේ වැඩිමනක් දෙනා නොගිය මාතලේ යන්නට හෙට පුළුවන් වෙනවා යන විශ්මයත් එක්කමය .

නිමක් නොවූ සංචාරය 03 කොටසින් නැවත හමුවෙමු !

අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප්‍රදේශය සොයා

දිනය:- පහුගිය (2020) ජූනි 13 වන දින ,  අදින් හරියටම අවුරුද්දකුත් දින තුනකට ඉස්සර ආටියා මාතලේ ගියේ හාමිනේ ගේ ගෙදර අයත් එක්ක පන්සලට දානයක් දෙන...