Thursday, February 18, 2021

පිටවල පතනේ රැයක්.

 

කොච්චර වැඩ තිබ්බත් ආටියාට කවදාවත් මේ බ්ලොග් එක නම් අමතක කරන්න බැරුවා වගේම මේ බ්ලොග් එකට නිතර නිතර ඇවිල්ලා යන ඔහෙලාවත් ආටියාට ඉතින් කවදාවත්ම අමතක වෙන්නේ නම් නෑ .අන්න ඒක නිසාතමයි මේ බ්ලොග් එක මෙහෙම හරි යාවත්කාලීන වෙන්නේ. 

කියන්න ලියන්න දහස්වාරයක් හිතුනත් මොකක්හරිම මරාලයක් ඔලුවට පහත් වෙනවානේ . ඔන්න කොහොම කොහොමාරි ආටියා අද බ්ලෝග ලියන්න සෙට් උනා කියමුකෝ . කොහෙද ඒ ලියන්න හදද්දීම ජංගමේ රිං වෙනවා .අවුරුදු ගානකට පස්සේ ඩිෂාන් කථා කරනවා . ලංකාවේ හිටියත් හම්බවෙන්න විදියක් උනේ නෑ කියලා අද හවස එන්න අහනවා . ඇත්තටම අහන්නේ නෑ එනවා කියලා කියනවා . මොනවා කිව්වත් ආටියා බෑ කියලා කියන්නේ නැති නිසා ඔන්න පොර වයිෆ් එක්ක හවස හත වෙද්දී ආවා කියමුකෝ. 

කන්න උවමණාවක් නෑ දෙන්නටම , ආගිය තොරතුරු කියන්න තමයි වැඩි කැමැත්ත . අපේ හාමිණේ තුන් පාරක් අඩගහලා තමයි කන්න ආවේ රෑට . ඩිෂාන්  බිස්නස් වලින් පට්ට හෙම්බත්වෙලා  . වයිෆුත් එහමයි  . කොච්චර කන්සල්ටන්සි කරත් වැඩක් නෑ උන් බිස්නස් කරන්නේ උන්ට ඕනේ විදියට . මම කිව්වා ස්ට්‍ර්ස් මගහැරෙන්නත් එක්ක ට්‍රැවල් කරපන් කියලා . ඔය කියද්දී වයිෆ් මගේ ට්‍රැවල් ගැන කියල හොදට දෙහි කපුවා . දන්නවානේ ඉතිං කාන්තා පාර්ශවය . මම  බ්ලොග් එකේ ලිව්ව ගොඩක් තැන් , මමත් වයිෆුත් ඩිෂා ට කිව්වාම උන් පට්ට විදියට සතුටු උණා .  ඔය අස්සේ ඩිෂා කියනවා ආටියාගේ  කැමතිම සංචාරක අන්තය වන මාතලේ යමං කියලා . පුදුම වෙන්න එපා උන් තවම මාතලේ ගිහිල්ලා නෑ . මොනවාකරන්නද ඉතිං බෑ කියන්න බෑ . උදේම යමං කිව්වා මාතලේට . 

පාන්දර 3 ට වැල්ලවත්තෙන් පිටඋණු අපි උදේ හය හයහමාර වගේ වෙද්දී මාතලේට ආවා . මාතලේ හාමිනේගේ අම්මලාගේ ගෙදර අපේ දුව තියලා අපි අපේ වාහනවලින් පිටඋනා උදේට කාලා එහෙම අට වගේ වෙද්දී . මුලින්ම ගියේ සෙම්බුවත්ත බලන්න . වැඩේ කියන්නේ සෙම්බුවත්ත වහලා . යන්න බෑ . ආටියාගේ හිතවතෙක් වෙච්ච රැඩ්ලි මහත්තයා වතු අධිකාරී බංගලාවට ගියා . ගිහිං ඔවුන්ගේ ආදරනීය ආගන්තුකසත්කාර විදලා එතුමා එක්කම සෙම්බුවත්ත නරබන්න ගියා . ඩිෂා සහ බිරිද පිස්සු වැටිලා පරිසරයේ ලස්සන දැකලා . ඊටත් වඩා සතුටුයි සෙම්බුවත්ත හදුන කථාව අහලා . කොහොම කොහොමාරි රැඩ්ලි මහත්තයා ට සමුදීලා අපි ගියේ හුනස්ගිරි දිය ඇල්ල බලන්න . හුනස්ගිරි දිය ඇල්ල බලන්න ඇතුලට යන්න බෑ සංචාරකයන්ට තහනම් . ඉතිං අපි දිය අලලා එළියේ ඉඩන් බලලා දවල් කෑමට hunasfallshotel එකට ගියා . හෝටලයේ සුන්දරත්වය දැකලා පිස්සු වැටිච්ච ඩිෂා කියනවා මචන් අද මෙහෙ නවතිමු කියලා . මුළු හෝටලයටම හිටියේ අපි හතර දෙනා විතරයි සංචාරකයන්ට කියලා . මොනවා කරන්නද , කියන ඉල්ලීම අහක දාන්න බෑනේ . කියලා අපි එදා සවසත් රාත්‍රියත් ගතකරලා උදේ ආහාරය හෝටලයෙන්ම ලබාගෙන පිටකන්ද මුදුන හොයාගෙන ගියා . ආටියා මීට කලින් ගියා කියලා ඔයාලා දන්නවානේ . සංචාරය කරන්නෙක් යන්න ඕනේ තැනක් තමයි පිටකන්ද මුදුන කියන්නේ . වාහන වලින් බැහැලා පැය ගානක් ඇත්තටම කියනවානම් ඩිෂාට ඇතිවෙනකම් හැමතැනම අවිදා . පස්සේ ආටියාට ඕනේ උනා මුන් දෙන්නාට බැංකුවක ඉන්දවලා උණු ප්ලේන්ටියක් එක්ක වඩයක් කවන්න . කබරගල (නාවලපිටියේ නෙවෙයි , පිටකන්දේ) ගමේ තියන එකම එක කඩෙන් කට්ටියට තේ ,වැඩේ කන්න සලස්වලා බලන් හිටියා උන් ජිවිතේ විදින හැටි . අපේ හාමිනේ බනිනවා ඩිෂාලා මම ගැන මොනවා හිතයි ද කියලා මේ කරන වැඩ වලින් . දන්නවානේ ආටියා කරන්නේ තමන්ට හිතුන දේ නේ ....... පස්සේ අහද්දී දෙන්නාම පට්ට විදියට ඒක එන්ජෝයි කරලා . වැඩේ කියන්නේ ගමේ අය බලනවා මේ විවිධප්‍රසංගය .  මෙව්වා මිනිස්සු බලාපොරොතු නොවෙන දර්ශනද ? අනේ මන්දා ... ආටියා හැමෝටම පොලවේ පය ගහලා ඉන්න ඉගැන්වුවා . උන් ඇත්තටම පොලවේ පය ගහලා ඉන්නවා . පට්ට . ජිවිතේ කියන්නේ ඔන්න ඕකයි . අපේ උන්ට ඕක තේරුම් ගන්න බෑ . උන් පට්ටට වියදම් කරලා ජීවිතේ එන්ජෝයි කරනවා කියල විදිනවා . අපේ ගොඩක් උන් ජිවිතේ විදින්න දන්නේනෑ . 

කොහොමාරි පිටකන්දේ ඉදලා අති දුෂ්කර මාර්ගයක් ඔස්සේ අපි මාතලේ රිවස්ටන් පාරට ආවා . එතන ඉදං බබරකිරී ඇල්ල බලන්න ගියපු අපි දවල්ට THE RIVERSTON GRAND කියන පුංචි හෝටලයෙන් කාලා  පිටවලපතන දක්වාම පරිසරයේ සුන්දරත්වය විදිමින් තැනින් තැන නවත්වමින් ගියා . ඇත්තටම ඔවුන් පිස්සු වැටිලා .... මග දෙපස සංචාරකයන් කියන්න කවුරුත්ම නෑ පරිසරය හරිම සුන්දරයි . කියන්න වචන නෑ ....... ඩිෂා පොඩි එකෙක් වගේ කෑගහනවා . උන් පට්ට විදියට එන්ජෝයි කරනවා . දැන් අපේ හාමිනේගේත් කන් කෙදිරිය ඉවරයි . එයත් ගමනට හුරු වෙලා . ඒක ලොකු දෙයක් . 

ඉතින් අදුරු වැටීමත් එක්ක මේ පලාත තවත් සුන්දර වෙනවා . ගුප්ත වෙනවා . ආටියා ඒ  හැගීම් දෙකටම පට්ට ආසයි . ආටියාට ඕනේ උනා මුන් දෙනාව තවත් පුදුම කරන්න . ආටියා උපක්‍රමිකව පිටවලපතන මැද සුදුසු තැනක් බලලා කිව්වා යකාගේ කාර්මික දෝෂයක් කියලා . ආටියා හාමිණේට වත් කිව්වේ නෑ මේක බොරුවක් කියලා . ආටියාට ඕනේ උනේ ට්‍රැවල් කරනවා කියන්නේ මේක කියලා උන්ට දැනෙන්න හරින්න . කොහොම කොහොමාරි පැයක් විතර ඩිෂා , වයිෆ් සහ අපේ හාමිනේ බය වෙලා ඉන්න ඇති .  ආටියා ගානක් නැතුව ඉන්න්නවා වයිෆ්ට තේරිලා වයිෆ් ඇත මිරිකලාකියනවා "මේක ඔයාගේ තවත් සෙල්ෆ් එනජොය්  එකක් නම් මම ආයේ කවදාවත් මෙහෙම ගමන් එන්නේ නෑ කියලා . ඔය අතරේ ඩිෂා කථා කරනවා කථාකරන්න ඕනේ හැමතැනකටම . ආටියා අන්තිමට ඩිෂාව සංසිදවනවා . පස්සේ පොර හුරු වෙනවා ඒ වගේම කාන්තා පාර්ශවයත් . ආටියා සංචාරයක් යද්දී දාගන්න බඩු මල්ල වහනයෙන් එලියට ගන්නවා . කොහොමාරි කට්ටිය එකතු වෙලා මැගී හදාගෙන කාලා , මධුවිතෙනුත් සප්පායම් වෙනවා හීනිය ට. විදගන්න බැරිතරම් සීතල මීදුම තිබුනට වැස්ස බින්දුවක්වත් නෑ ... අපි ඒ අතින් වාසනාවන්තයි .  වාහනයේ බොනට්එක උඩ ඉදගෙන ඈත තරු දිහාබලාගෙන එකම බ්ලැන්කට් එක පොරවාගෙන උන් දැන් ට්‍රැවල් කරන එක විදිනවා . පට්ට .   අපි කට්ටිය රෑ  දොළහ වෙනකම් විතර ඉදලා නින්දටගියා . කාලෙකටපස්සේ වාහනේ ඇතුලේ සැපට නිදාගන්නපුළුවන් උනා . ඒ හැගීම මිල කරන්න බෑ .... වචනයෙන් පැහැදිලි කරන්නත් බෑ. 

උදේ හය වගේ වෙද්දී ඇහැරුනාම අපේ පිටිපස්සේන් පොලිස් ජංගම රථයත් ඇවිලා . නවත්වලා තියනවා . ඒ හැමෝම නිදි . 

ආටියා ඩිෂාවත් ඇහැරගෙන පොලිස් ජංගම රථයේ මහත්වරුන්ට කථා කරන්න ගියා . ඒ අය නින්දෙන් වගේ පුදුම වෙලා අපිට කථාකරා . 


"මහතුරුද අර වාහනදෙකේ හිටියේ ? 

අපි රෑ එකට වගේ ආවා මේ වාහන දෙක දැකලා නවතුවේ ,

හැමෝම රෙදි ඔලුවේ ඉදන් පෙරවන් නිදි . කතාකරාට ඇහැරුනේත් නෑ . 

පස්සේ අපි නැවතුනා , ඔයාලාට කරදරයක් උනොත් කියලා . පහ වගේ වෙනකම් ඇහැරන් හිටියා . 

දැන් තමයි නින්ද ගියේ . 

ඇත්තටම මහත්තයා මොකද මේ , වාහනේ කැඩිලාද ? 

මම ගත්කටටම කිව්වා ඔව් ඔව් . එකපාර නැවතුනා කියලා . 

උදේ ස්ටාට් කරේ නැද්ද තවම . 

නෑ රාලහාමී මම පිළිතුරු  දුන්නා . 

යමු , ස්ටාට් කරලා බලමු කියලා ඒ නිලධාරීන් හතරදෙනාත් වහනය ලගට ආවා . 

යකා සුපුරුදු පරිදි ස්ටාට් උනා . 

ඔය මහත්තයා රත්වෙලා වෙන්න ඇති නැවතිලා තියෙන්නේ . කියලා ඒ නිලධාරීන් යන්නට පිටවගියා . 

ඩිෂා උදේට කන්න කියලා පන්දාහේ නෝට්ටුවක් ගුලිකරලා අත තිබ්බාම ඒ අය එක පිලිගතේ නෑ . අන්තිමට කියලා කියලා පින්සෙන්ඩු උනාම අරගෙන ගියා . 

ඔවුන් සමහරවිට හිතන්න ඇති අපි දේශපාලකයෝ  කියලා , නැත්තම් කෙරුම්කාරයෝ කියලා . ඒ අය දෙන්නේ නැතුව ඇති අපි පොලවේ පය ගහලා විදින අවිදින අවිදින්නෝ කියලා . කොහොමාරි අපි උදේම අපේ සංචාරය මෙතනින් අවසන් කරලා නැවත මාතලේට ආවා . 

7 comments:

  1. ලොකු සර්, වෙන මොකුත් කියන්නෑ. එලම කිරි.
    මේකට කොමන්ට් එකක් ලියන්ඩ ගියොත් කොතනින් කෙළවර වෙයිද දැන්නෑ.
    වෙලාවක් තියේනං hattorvittor [shift][2] ජීමේල් එකට නොම්මරයක් එවන්ඩ.
    කතාකරමු වරුවක්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  2. ඔය කියල තියෙන අන්තිම ටික මේ ලංකාවෙ වෙච්ච එකක්ද නැත්තං පැරලල් යුනිවර්ස් එකක සිද්ද වෙච්ච දෙයක් ද?

    ReplyDelete
    Replies
    1. பிரසංna தம்பி, දෙමළ පිච්චර්ම බලනකොට ඔයවාගේ දේවල් හිතෙනවා.

      Delete
  3. ඔබේ චාරිකා සටහන් ආසාවෙන් කියවනවා . ලංකාවේ ආපු වෙලාවක යන්න තැන් කීපයක්ම අළුතෙන් එකතු වුණා . ඉඩ ලැබෙන විදිහට බ්ලොග් එකට සටහන් එකතු කරන්න
    .

    ReplyDelete
  4. What a coincidence .

    එන දිගු සති අන්තයේ කෑම්පින් ප්ලෑන් එකක් තියනවා.

    ReplyDelete
  5. සුන්දර ගමනක සටහන්! මගේ ජීවිතයට බොහෝ හුරු පුරුදු දේව්ල්. මම මල්ලිට එන්න කියලා ආරාධනා කරණවා අපේ දුප්පත් කෑම්පින් සයිට් එකට ඇවිත් රැයක් ගත කරණ්න!

    ReplyDelete

පිටවල පතනේ රැයක්.

  කොච්චර වැඩ තිබ්බත් ආටියාට කවදාවත් මේ බ්ලොග් එක නම් අමතක කරන්න බැරුවා වගේම මේ බ්ලොග් එකට නිතර නිතර ඇවිල්ලා යන ඔහෙලාවත් ආටියාට ඉතින් කවදාවත්...